Breaking News

මෝටර් රථ කෝළම හා එහි ඉතිහාසය

නියමිත කාලයට, නියමිත ආකාරයට, සාමකාමීව සහ නිත්‍යානුකූලව ජනාධිපතිවරණය පවත්වා අවසන්ය. නව ජනාධිපති තම ධූරයේ වැඩ භාරගෙන ඇත. 76 වසරක ශාපය ලෙස හැඳින්වූ පාලන කාලය අවසන් කරමින් නව යුගයක් ආරම්භ වන බව පෙනේ. එය ආරම්භ වූ ආකාරයම යහපත්ය.

හොඳ පාඩමක් උගන්වනවා යැයි තර්ජන එල්ල වූ හිටපු මහ බැංකු අධිපතිවරයාම නැවතත් පත් වී ඇත. මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද (රනිල් වික්‍රමසිංහගේ) හිටපු ලේකම්වරයාමය. අමාත්‍යාංශ ලේකම්වරු විශාල ප්‍රමාණයක් කලින් රජයේ සේවය කළ අයමය. කලින් පාලන සමය මෙන්ම මෙවරද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව වැඩ කරන බව රජය දැනටමත් ප්‍රකාශ කර ඇත.

තවත් මෙකී නොකී විශාල පරිවර්තන රැසක් සිදු වෙමින් ඇත. ඒවා එසේම සිදුවන බව අප දැන සිටියේ මීට බොහෝ කලක සිටය.

ඒ සියල්ලටම වඩා මේ මොහොතේ අප කතා කළ යුතු දෙයක් තිබේ. එනම් පසුගිය රජයේ විවිධ පුද්ගලයන් අවභාවිතා කළා යැයි කියන වාහන ප්‍රමාණයක් තැන තැන දමා ගොස් ඇතැයි නැගෙන චෝදනාවයි. ජනාධිපති ලේකම් කාර්යාලය අවට තිබෙන වාහන දෙස ඇඟිල්ල දිගු කරමින් කප්පම් වසන්ත දෙස හැඳින්වෙන පුද්ගලයෙකු කරන විග්‍රහ මාධ්‍ය වල දක්නට ලැබේ. මේවා දකින බොහෝ අයට පසුගිය රජය කෙරෙහි කෝපයක් ඇතිවන බව පුදුමයක් නොවේ. නමුත් ඔවුන් නොදන්නා, එහෙත් දැනගත යුතු කරුණු කීපයක් තිබේ.

දේශපාලන දෘෂ්ටිකෝණයෙන් නොව සත්‍යය ගරු කරන්නන් ලෙස එම කරුණු තේරුම් ගන්නේ නම් සුදුසු බව කිව යුතුය.

රාජ්‍ය සේවකයන් තම ධුර කාලය තුළ භාවිත කරන සියලුම දේ විශ්‍රාම යාමේදී හෝ සේවා ස්ථානය හැරයාමේදී නැවත භාරදිය යුතුය. ලිපිගොනු, කැල්කියුලේටර, පරිගණක, පොත්පත්, මේස පුටු පමණක් නොව අඩි රූල පවා නැවත භාරදිය යුතුය. ඒවා භාර ගන්නේ ද ආපසු භාර දෙන්නේ ද ලේඛනගතවය. වාහන සම්බන්ධයෙන් ද ඇත්තේ මෙබඳු තත්ත්වයකි.

නිලධාරීන් භාවිතා වාහන තැන තැන දමා ගොස් ඇතැයි නැතහොත් ඒවා දමා පලා ගොස් ඇතැයි කියමින් කප්පම් වසන්ත ඇතුළු පිරිස මාධ්‍ය ඉදිරියේ කරන්නේ සත්‍යය යටපත් කරමිනි. එම වාහන භාර දෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයටය. සියලු වාහන එම ස්ථානයේ නවතා තැබීම අපහසු බැවින් ඒවා කාර්යාල ඉදිරිපිට තැන්පත් කිරීම සිදුකෙරේ. මේවා පෙන්නමින් නව රජයේ එහෙයියන් ලබන්නේ අමුතුම ස්වයං වින්දනයකි

අරගලයෙන් පසු පසුගිය රජය වැඩ භාර ගන්නා විට මෙවැනි මේ ආකාරයට වාහන භාර දීමක් සිදු නොවීය. වාහන කවුරුන් විසින් භාරගත්තේ ද කවුරුන් භාවිත කළේද යන්න පිළිබඳව කිසිම තොරතුරක් නොවීය. කිසිවක් ලේඛනගත නොවීය. ඇතැම් වාහන දමා ගොස් තිබුණේ මහා මාර්ග අසලය. නැතහොත් පාලු ප්‍රදේශවලය. තවමත් වාහන සිය ගණනක් තිබෙන තැනක් සොයා ගත නොහැකි බව වාර්තා වේ.

මේ නිසා පසුගිය රජය කළේ සියලුම වාහන ලේඛනගත කිරීමයි. ඔවුන් ඒවා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ නැත. සිදුකළ යුත්ත කළා පමණි. මේ නිසා යම් වාහනයක් භාවිත කළේ කවුද, භාවිත කළේ කුමක් සඳහාද, ඒවායේ භාරකරු කවුද, භාවිත කළ ඉන්ධන ප්‍රමාණය කොපමණද, ධාවනය කළේ කොපමණ දුර ප්‍රමාණයක් ද යන්න පිළිබඳව වාර්තාව තැබීමක් සිදුකෙරුණි.

වාහන පේළියක් පෙන්වමින් ස්වයං වින්දනයක් ලබන කප්පම් වසන්ත ඇතුළු පිරිස කළ යුත්තේ නීත්‍යානුකූලව තිබෙන ලේඛන පරික්ෂා කරමින් යම් වංචාවක් අවභාවිතාවක් හෝ දූෂණයක් සිදු වී ඇත්නම් ඔවුන්ට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කිරීමයි. එවැනි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට ඕනෑ තරම් නීති රීති තිබේ.

මෙවැනි ස්වයං වින්දනයක් 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද බලයට පත්වූ පසුව සිදු කළාය. මෙලෙසම වාහන තොගයක් පෙන්වමින් ඒවා වෙන්දේසි කරමින් ධනය අත්පත් කරගන්නා බව ප්‍රකාශ කළ ඇය එවකට ඊටත් වඩා වටිනා (වොල්වෝ කාර්) තොගයක්  ආනයනය කරමින් විහිළුවක් බවට පත් වූවාය. ඉන් පසු වාහන සමයම වෙනුවට ඇය කළේ සූරියකන්දේ ඝාතනය කර වළදමා ඇතැයි කිවූ පුද්ගලයන්ගේ ඇටකටු හැරීමේ ප්‍රදර්ශනාත්මක කටයුත්තයි. මේ සියල්ලම දැන් විහිළු කතා එකතුවක් පමණි.

පාකිස්තානයේ ඉම්රාන් ඛාන් අගමැති තනතුරට පත් වූ පසු කළේද කලින් රජය පාවිච්චි කළා යැයි කියූ වාහන ප්‍රදර්ශනයක් පැවැත්වීමයි. අද ඉම්රාන් ඛාන් සිටින තැනක්වත් හොයාගත නොහැකිය. තමන් තරුණ යැයි කිවු දේශපාලකයෙකු බලයට පත් වී සිදුකළ ඒ විගඩමත් අද අවසන්ය. ලංකාවේ මේ දවස්වල රඟ දැක්වෙන්නේ පරණ විහිළු කතාවක් නැවත ඉදිරිපත්වීමක් බව කප්පම් වසන්ත ඇතුළු පිරිස තේරුම් ගත යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *